ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක සේවාව සිය ප්‍රථම නාවික සිතියම නාවික හමුදාධිපතිතුමා වෙත ප්‍රදානය කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා අංශය මඟින් කච්චතිව් දූපත ආවරණය වන පරිදි සකස් කරන ලද ප්‍රථම නාවික සිතියම අද (මාර්තු 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

සාගර කලාපයේ වැදගත් නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ප්‍රයත්න දරණ ශ්‍රී ලංකාව වැනි රටකට ජල මානක විද්‍යාවේ දියුණුව ඉතා වැදගත් කරුණක් වනු ඇත. එහිදී, නාවික කටයුතු වල ආරක්ෂාව, සමුද්‍රීය පරිසර ආරක්ෂා කිරීම, ජාතික යටිතල පහසුකම් සංවර්ධනය, වෙරළ කලාපය කළමණාකරනය, සමුද්‍රීය ගවේෂණ, සමුද්‍රීය සම්පත් සූරා කෑම, මුහුදු සීමා මායිම් නිර්ණය කිරීම, සාගරික ආරක්ෂාව මෙන්ම වෙරළබඩ ආපදා කළමණාකරනය සහ ආරක්ෂාව යනාදිය පුළුල් විෂයය පථයන් ජල මානක විද්‍යාවට අයත් වේ.

ඒ අනුව, ජල මානක විද්‍යාවේ පරමාර්ථය වන්නේ ආරක්‍ෂක, ජාතික සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට අවශ්‍ය නාවික, ජල මානක සහ භූ විද්‍යාත්මක තොරතුරු උපකාරක සේවාවන් උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව සම්පාදනය කිරීමයි. එමෙන්ම, නිවැරදි දැක්ම කරා නිවැරදිව ලඟාවීමත්, සාගරයේදී ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින සම්මුතීන් ආරක්ෂා කිරීමට එකඟවීමත් යන කරුණු පදනම්ව ජල මාක විද්‍යාවේ අරමුණු සැකසී ඇත.