ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ඒකාබද්ධ කාර්යය මණ්ඩල මාණ්ඩලික ප්‍රධානී බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ඒකාබද්ධ කාර්යය මණ්ඩල මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් කට්සුටෝෂි කවානෝ මහතා ඊයේ (මාර්තු 09) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. ඉන් අනතුරුව අද්මිරාල් කවානෝ මහතා මෑතකදී ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය වෙත එක් වූ වෙරළාරක්ෂක ‍සුරක්‍ෂා නෞකාවේ චාරිකාවාරයක නිරත විය. එහිදී, නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් නෙවිල් උබයසිරි මහතා ඇතුළු නෞකා කාර්යය මණ්ඩලය විසින් එතුමන් පිළිගත් අතර, නෞකාවේ මෙහෙයුම් කටයුතු මෙන්ම තාක්ෂණික හැකියාවන් පිළිබඳව ද එතුමා අවධානය යොමු කරන ලදී. එම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක, කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා ඇතුළු පිරිසක් ද එක්වී සිටියහ.