නීතිවිරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම, කේරළ ගංජා ප්‍රවාහනය කිරීම සහ කැස්බෑ මස් ලඟ තබා ගැනීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ ත්‍රිකුණාමලය චීන වරාය පොලීසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 18) සිදු කළ වැටලීමකදී ත්‍රිකුණාමලය තොරඩි ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය (Water Gel) භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ඔවුන් සතුව තිබී වෝටර් ජෙල් කැබලි 50 ක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයින් සහ පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා චීන වරාය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 17 වන දින කල්පිටිය, සින්නකුඩුඉරුප්පු ධීවර වරායේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 245 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මුහුදු කූඩැල්ලන් තොගය වෑන් රථයක් මඟින් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබී ඇති අතර, එම පුද්ගලයා මුහුදු කූඩැල්ලන් සහ වෑන් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අනුයුක්ත නාවිකයන් සහ ත්‍රිකුණාමලය පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය මාර්තු 17 වන දින ත්‍රිකුණාමලය කිරිපට්ටිය හන්දිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. ආන්දන්කුලම සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන එම පුද්ගලයන්, කේරළ ගංජා තොගය හා ත්‍රී රෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාර දෙන ලදී.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සිලාවතුර පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව මාර්තු මස 17 වන දින සිදු කළ වැටලීමකදී අරිප්පු ප්‍රදේශයේ විකිනීමට සූදානම් කර තිබූ කැස්බෑ මස් කිලෝග්‍රෑම් 2.5 ක් සහ කිලෝග්‍රෑම් 30 ක පමණ බරකින් යුත් ජීවී කැස්බෑවෙකු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා, කැස්බෑ මස් සහ ජීවී කැස්බෑවා ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසියට භාර දීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 16 වන දින කදිරවේලි වෙරළ තීරයේ සඟවා තිබූ මීටර් 62 ක සහ 30 පමණ දිගකින් යුත් තහනම් දැල් 2 ක් සහ විදුලි පන්දමක් සොයා ගැනීමට සමත් විය. එම ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂක වෙත භාර දෙන ලදී.

නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 16 වන දින නීති විරෝධී ලෙස ඩයිනමයිට් යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ මෙම නීතිවිරෝධී ධීවර කටයුතු සිදු කර ඇති අතර, ඔහු සතුව තිබූ පරා මාළු කිලෝග්‍රෑම් 437 ක් බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් මඟින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත. මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම පුද්ගලයා, මසුන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එදිනම, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් විසින් කල්පිටිය ආන්දන්කල්ලිය හා කාකදූව මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා 3 ක්, තහනම් දැල් කිලෝග්‍රෑම් 19.5 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 6 ක්ද නාවික හමුදා භාරයට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.