නිවේදන හැකියාව වර්ධනය කිරීමේ ප්‍රථම වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වෙයි
 

නාවික හමුදා මාධ්‍ය ඒකකය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද නාවික පුද්ගලයින් සතු නිවේදන හැකියාව වර්ධනය කිරීමේ වැඩමුළුව පසුගිය මාර්තු මස 17 සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි. දිවයිනේ ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් විසින් මෙහෙයවනු ලැබූ එම වැඩමුළුව පසුගිය 16 සහ 17 යන දෙදින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

‍එම වැඩමුළුව සඳහා නිවේදන හැකියාවෙන් පිරිපුන් නිලධාරීන් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් ඉතා උද්යෝගයෙන් යුතුව සහභාගී වී සිටියහ. ඒ අනුව පළමු දිනයේ දේශණය රූපවාහිනී පුහුණු ආයතනයේ පාඨමාලා අධ්‍යක්‍ෂක අනුරාධ දේවප්‍රිය මහතා විසින් සිදු කරන ලද අතර, දෙවන දිනය රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශක හා ප්‍රවීණ ඉංග්‍රීසි නිවේදක නිවේදිකාවන් දෙපලක් වන ෂෙරෝන් මැස්කරීනස් මෙනවිය සහ ෆයිසාල් බොන්ග්සෝ මහතා විසින් මෙහෙයවන ලදී.

මෙම වැඩමුළුව මඟින් විවිධ නිවේදන හැකියාවෙන් පිරිපුන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයේ නිවේදක නිවේදිකාවන් රැසක් හදුනා ගැනීමට හැකියාව ලැබිණි. එම නාවික පුද්ගලයින්ගේ හැකියාවන් අනුව ඉදිරියේදී නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ උත්සව අවස්ථාවන් සඳහා ඔවුන් අනුයුක්ත කිරීමට ද කටයුතු සංවිධානය කරමින් පවතී. මෙවැනි වැඩමුළුවක් සංවිධානය කිරීම පිළිබඳව දේශකයන් මෙන්ම එයට සහභාගී වූ සියළු දෙනාම නාවික හමුදා මාධ්‍ය ඒකකය වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කළ අතර, එය සියළු දෙනාගේම පැසසුමට ලක් විය. ඔවුන් සියළු දෙනාගේම අදහස් අනුව ඉදිරියේදීත් මෙවැනි වැඩමුළු සංවිධානය කිරීමට නාවික හමුදා මාධ්‍යය ඒකකය අදහස් කොට ඇත.