නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට නාවික හමුදාවේ සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර හා කිමිදුම් කටයුතුවල නිරත වීම සහ කේරළ ගංජා ප්‍රවාහනය කිරීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ යාපනය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය මාර්තු 22 වන දින සිදු කළ වැටලීමකදී යාපනය නගරයේදී ගංජා මිශ්‍ර මත්කුඩු (මාවා) කිලෝග්‍රෑම්10.35 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. මෙම මත්කුඩු විකිණීම සඳහා සුදානම් කර තිබු අතර, එම පුද්ගලයින් සහ මත්කුඩු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලීසිය‍ වෙත භාර දීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් විසින් පසුගිය මාර්තු 23 වන දින පුත්තලම, දළුව මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් හතර දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා 2 ක්, තහනම් දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 37 ක්ද නාවික හමුදා භාරයට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.

තවද, වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 24 වන දින උඩප්පුව මුහුදු ප්‍රදේශයේදී වලංගු බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රාවක්, කිමිදිම සඳහා යොදාගනු ලබන උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.

තවද, එදිනම වයඔ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් විසින් බත්තලන්ගුංඩුව මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැල් 03 ක් අත්අඩගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.

එමෙන්ම, නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මාර්තු 25 නීති විරෝධී ලෙස ඩයිනමයිට් යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් (08) දෙනෙකු වලෙයිපාඩු, කීරමුනෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.එහිදි ඩිංගි යාත්‍රා දෙකක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 1800 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය, ධිවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අනුයුක්ත නාවිකයන් සහ වනාතවිල්ලුව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව මාර්තු 25 වන දින මල්වතුඔය, දියපැන්නුම අසලදී යතුරු පැදියක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.9 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය. පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම පුද්ගලයන්, කේරළ ගංජා තොගය හා යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා වනතාවිල්ලුව, පොලීසිය වෙත භාර දෙන ලදී.