උතුරු නාවික විධානය විසින් නයිනතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (අප්‍රේල් 03) නයිනතිව් දූපතේ, නාගදීප රජමහා විහාරස්ථානයේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්විම යටතේ එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පවත්වන ලද අතර, නයිනතිව් දූපතේ පදිංචි දමිළ සහ මුස්ලිම් පුද්ගලයින් විශාල පිරිසකට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය.

මෙමඟින් එම පුද්ගලයින් පරීක්‍ෂා කිරීම, බරපතල රෝගාබාධ, උගුරාශ්‍රිත, නිදන්ගත රෝග හදුනා ගැනීම හා ප්‍රථිකාර කිරීම මෙන්ම, පෝෂණ අතිරේක සහ නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීම සිදු කෙරිණි. එමෙන්ම නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, උතුරු පලාත් ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි පුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන්වහන්සේගේ පූර්ණ සහයෝගය මෙම උතුම් කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා ඉවහල් විය.

මෙම වෛද්‍ය සායනය මගින් රෝගීන් වෙත නිකුත් කළ ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතන විසින් නොමිලේ ලබා දෙන ලද අතර, ජෝර්ජ් ගුණරත්න ඇස්කණ්නාඩි සමාගම විසින් ඇස්කණ්නාඩි සඳහා අනුග්‍රහය ලබා දීමට කටයුතු කෙරිණි.