නාවික හමුදා සිවිල් සේවක සාමාජිකයින් සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් කොළඹදී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් අතර හමුවක් ඊයේ (අප්‍රේල්18) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. නාවික හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්ෂිකා, තුෂිත කුමාරි දිසානායක මහත්මිය විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ විය.

එහිදී, සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇමතූ නාවික හමුදාධිපතිතුමා, ප්‍රථමයෙන්ම සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් එක් කළ අතර, නාවික හමුදාවේ රාජකාරීන් හා පරිපාලන කටයුතු සාර්ථකව සිදුකර ගෙන යාම සඳහා ඔවුන් දක්වන සහයෝගය හා කැපකිරීම් පිළිබඳව සිය කෘතවේදීත්වය පළ කරන ලදී. නාවික හමුදාවේ උන්නතිය සඳහා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා සිවිල් ‍සේවා කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ සේවය හා නොමද දායකත්වය අපේක්ෂා කරන බවද එතුමා එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සිවිල් පරිපාලන අධ්‍යක්ෂතුමිය විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සිවිල් පරිපාලන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.