රුසියානු නාවික හමුදාවට අයත් පෙරේකොප් නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරේකොප් නෞකාව සුහඳ සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 18) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

දින පහක (05) නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

නෞකාව කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව, එහි අණදෙන නිලධාරී, රියර් අද්මිරාල් ව්ලැඩ්මීර් ඒ චෙරොකොච් මහතා අද (අප්‍රේල් 19) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී ඔවුන් ‍අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් දිමිත්‍රි මිකායිලොව්ස්කි මහතා ද සහභාගී විය.

දිගින් මීටර් 138 ක් සහ පළලින් මීටර් 17 කින් යුත් පෙරේකොප් නෞකාව ටොන් 6900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 399 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළබෙන අප්‍රේල් 22 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.