ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අග්‍රාමත්‍යතුමාගේ සුරතින් අධිකාරියට
 

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීම ඊයේ (අප්‍රේල් 19) දින ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් පස්වරු 5.30 පැයට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගරු අග්‍රාමාත්‍යතුමා වෙත නාවික හමුදා විශේෂ සම්මාන මුරයක් මගින් ආචාරය පුද කෙරිණි. ඉන් අනතුරුව සම්මාන මුරය පිරික්සූ ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සමන් පෙරේරා මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලදී. එහිදී, කපිතාන් පෙරේරා මහතා විසින් සන්නස් පත්‍රය උත්සව සභාව වෙත ප්‍රකාශයට පත් කරමින්, සිය මාතෘ භූමියේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම උදෙසා තමන් වෙත පැවරී ඇති වගකීම නොපිරිහෙලා ඉටු කරන බවට ද ප්‍රතිඥා දෙන ලදී. ඉන් පසුව, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නමින් අධිකාරියට පත් කරන ලද මෙම අධි තාක්ෂණික නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම, සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් සිදු කෙරිණි.

තවද, අග්‍රාමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් නෞකාවේ නවීන පහසුකම් සහ උපකරණ පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, නාවික හමුදාධිපතිතුමා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව අග්‍රාමාත්‍යතුමන් ඇතුළු ප්‍රභූ පිරිස දැනුවත් කරන ලදී. සිඳුරළ නෞකාව නවීන තාක්ෂණයෙන් සහ විශේෂිත අංගෝපාංග රැසකින් ද සමන්විත වේ. එහි දිග මිටර් 105.7 ක් වන අතර, පළල මිටර් 13.6 ක් වේ. එමෙන්ම, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වන අතර, සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයක් ද මෙය සතුය.

එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා, කෘෂිකර්ම අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මහතා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම්, නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්, අතිගරු තරන්ජිත් සිං සන්දු මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු ඉන්දියාවේ සීමාසහිත ගෝවා නැව් තඨාකාංගණ‍යට අනුයුක්ත නිලධාරින් පිරිසක් ද සහභාගී වී සිටියහ.

තවද, ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා, විශ්‍රාමික නාවික හමුදාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් ද එක් වී සිටියහ.