රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා සිය 36 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 20) විශ්‍රාම යන ලදී.

එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් ගුණවර්ධන මහතා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.

1982 වර්ෂයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 03 වන බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ගුණවර්ධන මහතා මීට පෙර උතුරු මැද විධානය භාර ආඥාපති, දකුණු විධානය භාර නියෝජ්‍ය ආඥාපති, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති සහ අධ්‍යක්‍ෂ නාවික (ආහාර හා නිළ ඇදුම්) ආදි වූ නාවික හමුදාවේ විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.