නිති විරෝධී පන්න ක්‍ර‍ම භාවිතා කල ධීවරයින් අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නිති විරෝධි පන්න ක්‍රම භාවිතා කළ ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14 ක් නාවික හමුදාව විසින් පසුගිය සති දෙක තුළ ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මසුන් මැරීම සදහා භාවිතා කරන ලද ‘සුරුක්කු/ලයිලා’ දැල් 13 ක් සහ අලගොඩු වර්ගයේ මත්ස්‍ය කිලෝග්‍රෑම් 6240 ක ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගන්නා ලදී. පවත්නා නීතිය අනුව මෙම දැල් වර්ගය භාවිතා කරමින් ගොඩබිමට ආසන්න මුහුදේ මසුන් මැරීම තහනම් වන අතර ත්‍රිකුණාමල මුහුදේ මුහුදු සැතපුම් 07 සීමාව තුළ මෙම පන්න ක්‍රම භාවිතය ශ්‍රී ලංකා ජනරජයේ 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පණත යටතේ සහ 2016.01.22 දිනැති අංක DFAR/FM/AD/13/496 දරණ අධ්‍යක්ෂ ජනරාල් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවගේ ලිපිය මගින් තහනම් කර ඇත.

අත්අඩංගුවට පත්වූ ධීවරයින් සහ ඔවුන්ගේ මුහුදු අයිතමයන් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ත්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්ෂක වෙත ඉදිරි අධිකරණමය කටයුතු සදහා භාර දෙන ලදී.

නැගෙනහිර මුහුදේ වර්තමානයේ මෙම සුරුක්කු දැල් භාවිතය වැඩි වී ඇති බැවින් නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේද සහාය සහිතව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතයන් ව්‍යාප්ත කර ඇත. ඒ සමගම නීති විරෝධී ක්‍රම මගින් මත්ස්‍ය සම්පත නෙළා ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනේ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතර එය හුදෙක්ම මත්ස්‍ය සම්පත නිසි කලමනාකරණය මගින් මතුවටත් පවත්වා ගැනීමට උපකාර වනු ඇත.