ඇමරිකානු නාවික නෞකා මර්සී නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දුවෙයි
 

ඉන්දු-ආසියා-පැසිෆික් කලාපීය මානුෂිය ආධාර සහ ආපදා සහන (HADR) මූලික අරමුණ කරගත් වාර්ෂිකව පැවැත්වෙන පැසිෆික් සහයෝගීතා වැඩසටහන වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් මර්සී ආරෝග්‍යශාලා නෞකාව අද (අප්‍රේල් මස 25) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

මෙම නෞකාව දිගින් මීටර් 272.49 ක් වන අතර, පළල මීටර් 32.2 ක් වේ.

අනතුරුව මර්සී නෞකාවේ අණදෙන නිලධාරී කොමදෝරු ඩේවිඩ් ‍බ්‍රෙට්ස් මහතා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී පැසිෆික් සහයෝගීතා වැඩසටහන සම්බන්ධව සුහද පිළිසඳරක යෙදුන අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

පැසිෆික් සහයෝගිතා වැඩසටහන වාර්ෂිකව පැවැත්වෙන මානුෂික ආධාර හා අපදා සහන සැලසීම පිළිබඳ වු විශාලතම මෙහෙයුම වන අතර, ඉන්දු-ආසියා-පැසිෆික් කලාපීය පුද්ගලයින්ගේ සහයෝගීතාව, සෞඛ්‍ය තත්වය හා ආපදා තත්වයන්ට මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණයි.

2016 වර්ෂයේ ශ්‍රිලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව අතර, එවැනි මෙහෙයුම් කතිකාවතින් පසුව මෙම වැඩසටහනට ශ්‍රිලංකා නාවික හමුදාව සම්බන්ධ වු අතර, ඒ අනුව ප්‍රථම වරට 2017 හම්බන්තොට ප්‍රදේශය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙම මස 25 වන දින සිට මැයි 09 දක්වා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය මූලික කරගනිමින් වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මේ සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, පේරූ, කැනඩාව හා ජපානය යන රටවල්හි හමුදා සාමාජිකයන් හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් අත්වැල් බැඳගෙන සිටි.

දිවයින තුළ රැඳීසිටින කාලය තුළදී ඔවුන් විසින් ත්‍රිකුණාමලය හා ඒ අවට ප්‍රදේශ වල පාසැල්, රෝහල්, ප්‍රජා මධ්‍යස්ථාන සහ පොදු මහජනතාව ඉලක්ක කරගනිමින් වැඩසටහන් ගණනාවක් සිදු කිරීමට නියමිත අතර, එක්සත් ජනපද 7 වන නාවික බලඇණිය විසින් ශ්‍රිලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ වී දේශීය හා විදේශීය සංගීතය සම්මිශ්‍රිත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද නියමිතය.

ශ්‍රිලංකා නාවික හමුදාවේ ඉන්ජිනේරු සිවිල් ක්‍රියාකාරී වැඩසටහන් (ENCAP), වෛද්‍ය සිවිල් ක්‍රියාකාරී වැඩසටහන් (MEDCAP), දන්ත සිවිල් ක්‍රියාකාරී වැඩසටහන් (DENCAP), පශු වෛද්‍ය කටයුතු (වනජීවී), සෞඛ්‍ය සම්බන්ධතා, ප්‍රජා සත්ව අපද්‍රව්‍ය, විද්වත් අදහස් හුවමාරුව (SMEE), සමුපකාර සෞඛ්‍ය සම්බන්ධතා (CHE), ප්‍රජා සම්බන්ධතා (COMREL) ව්‍යාපෘති, සංගීත ප්‍රසංග, මානුෂිය ආධාර, ආපදා සහන (HADR) සහ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාස (FTX) වලින් මෙම වැඩසටහන සමන්විත වේ.