ශාන්තිකර සහයෝගීතාව - 2018 වැඩසටහන ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
 

ශාන්තිකර සහයෝගීතාව - 2018 වැඩසටහනට සහභාගී වීම සඳහා පසුගිය අප්‍රේල් 25 වන දින ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් මර්සී ආරෝග්‍යශාලා නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ඒ අනුව, ප්‍රජා සත්කාරක සහ සමාජ සුභසාධන කටයුතු රාශියක් සාර්ථක ලෙස නිමාවට පත් කිරීමෙන් අනතුරුව ශාන්තිකර සහයෝගීතාව - 2018 සමාප්ති උත්සවය පසුගිය මැයි 08 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ගරු රෝහිත බොගොල්ලාගම මැතිතුමා සහභාගී වූ අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්, එන්ඒඒ පුෂ්පකුමාර මැතිතුමා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, නාවික හමුදා මූලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

ඉන්දු, ආසියා පැසිෆික් කලාපයේ වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන විශාලතම මානුෂීය උපකාර සහ ආපදා සහන සැලසීමේ මෙහෙයුම ලෙස මෙම වැඩසටහන හදුන්වා දිය හැකි අතර, මෙමගින් කලාපයේ රටවල් අතර සෞඛ්‍ය සේවා වර්ධනය කර ගැනීම සහ වෙනත් ආපදා තත්වයන් වලදී සාමූහිකව සම්බන්ධීකරණය වී කටයුතු කිරීම ප්‍රධාන අරමුණ වශයෙන් පෙන්වාදිය හැක.

මෙවර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියාව, කැනඩාව, චිලී, ජපානය, පේරූ, ඇමරිකා එක්සත් ජනපදය හා එංගලන්තය යන රටවල් වලින් පැමිණි හමුදා සහ රාජ්‍ය නොවන සංවිධානයන්ට අයත් පුද්ගලයින් සිය දායකත්වය සැපයූ අතර, ඔවුන් ශ්‍රී ලංකා පාර්ශවකරුවන් සමඟ වෛද්‍ය, මානුෂීය උපකාර සහ ආපදා සහන සැලසීම වැනි වැඩසටහන් රාශියක ද නිරත විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පන්සල්, පාසල්, පෙර පාසල්, රෝහල්, ප්‍රජා ශාලා කේන්ද්‍ර කර ගනිමින් පොදු මහජනතාව සඳහා සෞඛ්‍ය කඳවුරු, සංගීතමය වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම සංස්කෘතික වැඩසටහන් වැනි සමාජ සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරන ලදී. එම සමාජ සත්කාරක සේවාවන් ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශංසාවට මෙන්ම අගය කිරීමට ද ලක්විය.

තවද, මර්සී ආරෝග්‍යශාලා නෞකාවට අනුයුක්ත ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා වෛද්‍යවරු සහ ශ්‍රී ලංකා වෛද්‍යවරු එක්ව නෞකාව තුල විවිධ වර්ගයේ සැත්කම් 24 ක් සිදු කළ අතර, එහිදී ලෝකයේ ප්‍රථම වතාවට නෞකාවක් තුල ‘රොබොටික් තාක්ෂණය’ යොදා ගනිමින් සැත්කමක් ද සිදු කරනු ලැබීය. එමෙන්ම, ත්‍රිකුණාමලය හා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි රෝගීන් 5500 කට අධික පිරිසකට ප්‍රතිකාර ලබා දීමට කටයුතු යොදා තිබුණු අතර, එහිදී පශු වෛද්‍ය සැත්කම් හා එන්නත් සිදු කිරීම් 500 කට අධික සංඛ්‍යාවක් ද සිදු කරන ලදී.

එමෙන්ම එක්සත් ජනපද 7 වන නාවික බලඇණි තූර්ය වාදක කණ්ඩායම හා ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම සමඟ එක්ව සිදු කළ විශේෂ තූර්ය වාදක ප්‍රසංග කිහිපය කැපී පෙනෙන අංගයක් වූ අතර, ඒ සඳහා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දක්නට ලැබුණි. මෙම තූර්ය වාදක ප්‍රසංගයන් නැරඹීමට විශාල සංගීත ලෝලීන් පිරිසක් සහභාගී වී සිටි අතර, එහිදී ඔවුන් වෙත ඇමරිකානු සහ ශ්‍රී ලාංකීය සංගීතයේ අපූරු සම්මිශ්‍රණයක් විඳ ගැනීමට අවස්ථාව ලැබුණි.

මෙම වැඩසටහන් මාලාවේ නිමාව සටහන් කරමින් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් මර්සී ආරෝග්‍යශාලා නෞකාව ඊයේ (මැයි 09) දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර, ශාන්තිකර සහයෝගීතා - 2018 වැඩසටහනේ ඉදිරි ක්‍රියාන්විතයන් වියට්නාමය සහ ජපානය යන රටවල් වලදී ක්‍රියාත්මක කෙරෙනු ඇත.