61 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 61 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 60 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (මැයි 11) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

ඒ අනුව, විධායක, සැපයුම්, විනයාරක්ෂක, ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් හා මැරීන් යන අංශයන් සඳහා මෙම ශිෂ්‍යභට නිලධාරීන් නාවික හමුදා සේවයට එක් විය. එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන්, ප්‍රථමයෙන් නව ශිෂ්‍යභට නිලධාරීන්හට සිය සුභාසිංශන එක් කළ අතර, නාවික හමුදා නිලධාරීයෙකු වශයෙන් ඉදිරියේදී තම මාතෘභූමියට ඉටුවිය යුතු යුතුකම් මැනවින් සිදු කිරීමටත් නාවික හමුදාවේ කීර්තිනාමය මෙන්ම අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් ගෞරවාන්විත සේවයක් ඉටු කිරීමටත් අදිටන් කරගත යුතු බව ප්‍රකාශ කරන ලදී. එමෙන්ම, රටේ සංවර්ධනයට සිය දායකත්වය ලබා දීමට ඔවුන් හට විශාල වගකීමක් පැවරෙන බව ද එතුමා අවධාරණය කරන ලදී.

නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් රසික දිසානායක මහතා සහ අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශණ මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.