නාවික රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී
 

ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝහාර දැක්වීම අද (මැයි 18) උදෑසන වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි. මෙම උළෙල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වා සිය ආචාරය පුද කරන ලදී. ඉන් අනතුරුව විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වා අප මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද නාවික රණවිරුවන්ට ආචාරය පුද කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ ‍ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

තවද, මීට අමතරව දිවයින පුරා සංවිධානය කර තිබූ රණවිරු සැමරුම් උත්සව සඳහා සියළු නාවික විධානයන් නියෝජනය වන පරිදි නාවික පුද්ගලයින් සහභාගී වූ අතර, එම අවස්ථාවන් සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් ද, සටනේදී මියගිය සහ අතුරුදහන් වූ රණවිරු පවුල් වල සාමාජික සාමාජිකාවන් මෙන්ම සිවිල් ජනතාව විශාල පිරිසක් ද සහභාගී විය.