විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 23 දෙනෙකු විසිර යති
 

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 25 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් විසි දෙදෙනෙකු (22) සහ එක් (01) නිලධාරියෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (මැයි 19) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.

එම විසිර යාමේ සහ ලාංඡන පැළඳවීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා සහභාගී විය. ඉතාමත් අලංකාරවත් ලෙස පැවැත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය විශේෂ යාත්‍රා බලඝණයේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දැක්වෙන අලංකාර සංදර්ශණයකින් ද සමන්විත විය.

එහිදී, තම මූලික පුහුණු කාල සීමාව තුළ විශේෂ කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සිදු කෙරිණි. ඒ අනුව, 25 වන බඳවා ගැනීමේ අතිශූර සාමාජිකයා සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් සාමාජිකයා ලෙස සාමාන්‍ය නාවික එස්එම්එම්ජීජීපි අබේසිංහ ද, දක්ෂතම වෙඩික්කරු වශයෙන් උප ලුතිනන් එස්කේඑන්එස් සූරියආරච්චි ද, පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන්, සාමාන්‍ය නාවික ආර්එම්ටී පුෂ්පකුමාර ද කුසලාන හිමිකර ගැනීමට සමත් විය.

“විකුමැතියට භාග්‍ය ප්‍රසාදනිය වේ” යන ආදර්ශ පාඨය තේමා කර ගනිමින් මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ යාත්‍රා බලඝණය නිරන්තරයෙන් ඇප කැප වී සිටී. එමෙන්ම, දශක 3 ක් පුරා පැවති ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීම කෙරෙහි විශාල කාර්යයභාර්යක් ඔවුන් විසින් සිදු කර ඇත. සෑම විටම මනා පුහුණුවකින් සහ උසස් විනයකින් යුක්තව ඕනෑම යුදමය අවස්ථාවකදී ගුවන, දියඹ සහ දෙරණ සිසාරා රණබිමට අවතීර්ණ වී දැඩි මානසික හා ශාරීරික ශක්තියකින් යුතුව, සතුරා මවිතයටත්, විශ්මයටත් පත් කරමින් දැවැන්ත ප්‍රහාරයක් කරා යොමු වීමේ දුර්ලභ හැකියාව මෙම විශේෂ යාත්‍රා බලඝණය සතුය.

නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස් මහතා, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් (වියාබ) අරුණ විරසිංහ මහතා, නාවික හමුදා මුලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, විසිර යන ලද නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් ඇතුළු පවුල්වල සාමාජික සාමාජිකාවන් සහ නාවිකයන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.