නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, පසුගිය ‍මැයි 15 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බළකායට අනුයුක්ත නාවිකයින් පිරිසක් එක්ව නැගෙනහිර මුහුදු තීරයේ රවුන්ඩ් දූපත අවට මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා 02 ක්, තහනම් දැල් 02 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 135 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, මත්ස්‍ය තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දෙන ලදී.

පසුගිය මැයි 15 වන දින උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බළකායට අනුයුක්ත නාවිකයින් පිරිසක් එක්ව පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා 05 ක්, ඔවුන් සතුව තිබී කිමිදුම් උපකරණ සහ නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2587 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව නැගෙනහිර, ධීවර දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය මැයි 15 වන දින ඕඩක්කරතිව් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබු ඩිංගි යාත්‍රා 01 ක් තහනම් දැල් 01 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 06 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, මත්ස්‍ය තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දෙන ලදී.

තවද, නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය මැයි 15 වන දින නොර්වේ දුපත අවට මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 138 ක්, තහනම් දැල් 02 ක් සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින්, මත්ස්‍ය තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.