නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් තවදුරටත් සීරුවෙන්
 

පසුගිය දින කිහිපය තුල ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, තවදුරටත් ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් ඇතුළුව සහන සැළසීමේ කණ්ඩායම් 41 ක් සහ ඩිංගි යාත්‍රා 41 ක් විවිධ ප්‍රදේශ වෙත අනුයුක්ත කර ඇත. ඒ අනුව, දකුණු, බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත් සඳහා නාවික හමුදාව සහන සැළසීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටී.

තවද, ගාල්ල දිස්ත්‍රික්කයේ පිටබැද්දර හරහා රත්ගම දක්වා දිවෙන අතුරු මාර්ගයේ ගිංගඟ හරස් කොට ඉදි කර ඇති වක්වැල්ල පාලම හරහා කුණු අපද්‍රව්‍ය එකතු වීම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී තිබූ අතර, ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් පසුගිය මැයි 20 වන දින අනුයුක්ත කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව ඊයේ (මැයි 22) සවස වන විට එම අපද්‍රව්‍ය ඉවත් කර ජලය බැස යන පරිදි යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන ලදී.

එමෙන්ම කැළණිය, බියගම ප්‍රදේශයන්හි ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාම සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් පිරිසක් කටයුතු කරන ලදී. තවද, කොමාණ්ඩර් (තොතා) නදීර කුලපති මහතාගේ අධීක්‍ෂණය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුල නාවික හමුදා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, එමඟින් නාවික හමුදා මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ කණ්ඩායම් වෙත තොරතුරු ලබා දීම සිදු කරනු ලබයි.

ගංවතුර තත්වය හේතුවෙන් මාදම්පේ, පොතුවිල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් තුල අවතැන්ව සිටි මව්වරුන් පිරිසක් සහ දෙල්ගොඩ, දිවුලගොඩ ප්‍රදේශයේ ජල ගැලීම් හේතුවෙන් අවතැන්ව සිටි ගැබිණි මව්වරුන් පිරිසක් බේරා ගැනීමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් කටයුතු කරන ලදී. තවද, ගංවතුර හේතුවෙන් මාදම්පේ පුත්තලම මාර්ගයේ මහවැව පාලම අසල දියේ ගසාගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කටයුතු කරන ලද අතර, අයහපත් කාලගුණික තත්ත්වය ද නොතකමින් ස්වාභාවික ව්‍යසනයට ගොදුරු වූ ප්‍රදේශයන්හි පුද්ගලයන් වෙත සහන සැළසීමේ කටයුතු නාවික හමුදාව විසින් ඉදිරියටත් සිදු කරමින් පවතී.