නාවික තඨාකාංගණයේ ගිනි නිවිමේ ඒකකය සිය 60 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ ගිනි නිවිමේ ඒකකයේ 60 වන සංවත්සරය ඊයේ (ජුනි 01) දිනට යෙදී තිබූණි. එය නිමිති කරගනිමින් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබූ අතර, නැගෙනහිර ප්‍රදේශය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. නැගෙනහිර ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා, නැගෙනහිර විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම අවසන් සිවිල් ප්‍රධාන ගිනි නිවිමේ නිලධාරියා වශයෙන් කටයුතු කළ ආර්. රණවන මහතා ඇතුළු විශ්‍රාමික සිවිල් ගිනි නිවන නිලධාරින් තිස් දෙදෙනෙකු සහ නැගෙනහිර විධානයට අනුයුක්ත නාවිකයින් විශාල පිරිසක් ද සහභාගීවී සිටියහ.   

1957 ඔක්තෝබර් මස 15 වන දින බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය, එවකට අග්‍රාමාත්‍ය එස්ඩබ්ආර්ඩි බණ්ඩාරනායක මැතිතුමා හට භාර දීමට කටයුතු කරන ලදී. අනතුරුව 1958 ජුනි 01 වන දින නාවික තඨාකාංගණයේ රාජකාරින් රාජකීය ලංකා නාවික හමුදාව වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, 45 දෙනෙකුගෙන් සමන්විත ගිනි නිවිමේ භටයින් ඇතුළුව ඩබ්ආර් නතානියස් මහතා ප්‍රධාන ගිනි නිවිමේ නිලධාරියා වශයෙන් පත් කෙට ගිනි නිවිමේ ඒකකයක් ස්ථාපිත කිරීමට ද එහිදි කටයුතු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ ගිනි නිවිමේ ඒකකය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි.

රටේ පැවති ආරක්ෂක හේතුන් සහ ගිනි නිවන සේවාවේ ශක්තිය වැඩි කිරීම සඳහා 2005 වර්ෂයේදී නාවික තඨාකාංගණයේ ගිනි නිවිමේ ඒකකය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර දීමට කටයුතු කළ අතර, එමගින් නාවික හමුදා පුද්ගලයින්ගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් හරහා සුවිශේෂී ගිනි නිවිමේ සේවාවක් ලබා දීමට හැකියාව ලැබුණි. ඒ අනුව වර්තමානය වන විට එක් නිලධාරියෙකු හා නාවිකයින් 53 දෙනෙකුගෙන් සමන්විතව කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට කටයුතු කරනු ලබයි.

මෙම උත්සවයේදී විශ්‍රාමික සිවිල් ගිනි නිවිමේ නිලධාරින් හට උපහාර දැක්විම සිදු කළ අතර, මෙම අවස්ථාව පරම්පරා දෙකකට අයත් ගිනි නිවිමේ පුද්ගලයින් හට සිය දැනුම හුවමාරු කර ගැනීමට ද මහඟු අවස්ථාවක් වීය. මෙම විශ්‍රාමික ගිනි නිවිමේ නිලධාරින් බොහෝදෙනෙකු තම සේවය නිම කොට විශ්‍රාම ගිය පසු නාවික තඨාකාංගණයේ සංචාරය සිදු කොට නොමැති අතර, මෙය ඔවුනට සුවිශේෂි අවස්ථාවක් වීය.