අනවසර සංක්‍රමණිකයින් 05 දෙනෙකු සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 03) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 11 ක පමණ දුරකින් ‍සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇති අතර, එම යාත්‍රාව දෙසට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවිමට කටයුතු කර ඇත. ඒ අනුව, නිති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට පුද්ගලයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී, පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (02), කාන්තාවන් දෙදෙනෙකු (02) සහ එක් ළමයෙකු නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත.

අනතුරුව මෙම පුද්ගලයින් කන්කසන්තුරෙයිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව කන්කසන්තුරෙයි පොලීසිය වෙත භාර දීමට නියමිතව කටයුතු කරන ලදී.

<