නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ නීති වීරෝධි මත්ද්‍රව්‍ය සඟවා තබා ගැනීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනුව පසුගිය මැයි 28 වන දින ඩෙල්ෆ්ට් දුපතේ ඌරුමුණායි ප්‍ර‍දේශයේ මුහුදු වෙරළට ගොඩගසා තිබූ සැක කටයුතු පාර්සලයක් සොයාගන්නා ලද අතර, එය පරීක්‍ෂා කර බැලීමෙන් අනතුරුව එහි තහනම් මත්ද්‍රව්‍යක් වන කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 4.6 ක ප්‍රමාණයක් වන බව තහවුරු කර ගැනීමෙන් පසු  ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාවට ලද තොරතුරක් මත වයඹ නාවික විධානයට අයත් වෙරළ ආරක්‍ෂක මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මැයි 28 වන දින කිඹුල් බොක්ක සහ උච්චමුණි ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචරයකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04)  අත්අඩංගුවට ගෙන ඇත. එහීදි ඔවුන් සතුව තිබි තහනම් දැල් 04 ක්, අල්ලන ලද මසුන් කිලෝ ග්‍රෑම් 03 ක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, මසුන් සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, උතුරු මැද නාවික විධානයට ලද තොරතුරකට අනුව පසුගිය මැයි 29 වන දින ශ්‍රී තොප්පු ප්‍රදේශයේ තල් පඳුරක් අසල සඟවා තිබූ තහනම් මත්ද්‍රව්‍යක් වන කංසා කිලෝග්‍රෑම් 2.6 ක ප්‍රමාණයක් සහ සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයා සහ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.