ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් පසුගිය දිනවල හඳුන්වා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.  

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් කල්පිටිය, ආනවාසල නාවික අණුකණ්ඩයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික හමුදා ප්‍රථම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය පසුගිය ජුනි මස 09 වන දින වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතා සහ මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සුරතින් විවෘත කෙරිණි. එම අවස්ථාව සඳහා‍ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් ප්‍රභාත් රතුගමගේ, නාවික හමුදා, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (සාගරික සංරක්‍ෂණ සහ අධීක්‍ෂණ ඒකකය) ලුතිනන් කොමාණ්ඩර් කසුන් නුවරපක්‍ෂ මහතා, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින්, නාවිකයින් සහ මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නිලධාරින් මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද සහභාගීවී සිටියහ.

තවද, ලාභ ඉපයිමේ අරමුණක් නොමැති මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන මාස් හෝල්ඩින්ග්ස් ආයතනය මඟින් ලබා දීමට කටයුතු කර ඇත. ප්‍රදේශයේ ජනතාවට ඔවුන් ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙම ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය වෙත ගෙනවිත් භාර දීමට හැකි අතර, ඒ සඳහා ඔවුනට ඉහළ මිලක් ලබා දීමට නාවික හමුදාව කටුයුතු කරනු ලබයි. මෙම මධ්‍යස්ථානයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරනය සඳහා සුදුසු පරිදි සකස් කොට ප්‍රතිචක්‍රීකරණ ආයතන වෙත ලබා දීමට කටයුතු කෙරේ.