නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ නීති වීරෝධි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට ලද තොරතුරකට අනුව පසුගිය 04 වන දින පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් අල්ලන ලද මත්ස්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු මන්නාරම, සවුත්බාර් ප්‍ර‍දේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එහීදි, ඔහු සතුව තිබු මත්ස්‍ය කිලෝ ග්‍රෑම් 162 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයා, මසුන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

පසුගිය 05 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 02 ක් සහ සීමා කළ ප්‍රදේශවල එලන ලද දැල් 13 ක් සොයා ගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

උතුරු මැද නාවික විධානයට ලද තොරතුරකට අනුව පසුගිය 05 වන දින එම විධානයට අනුයුක්ත නාවිකයින් විසින් ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබු දුම්වැටි (බීඩි) එතීමට යොදා ගන්නා කොළ ගෝනි 08 ක් (කිලෝග්‍රෑම් 502.59) මන්නාරම, වැලිපර 7 මුහුදු ප්‍රදේශයේදී සොයාගෙන ඇත. එම කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් මුහුදු මුරසංචාරයේ යෙදී සිටියදී නිතී විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයින් තිදෙනෙකු (03) පසුගිය 05 වන දින මට්ටුතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එහීදි ඔවුන් සතුව තිබි තහනම් දැලක්, අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 05 ක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, මසුන් සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

පසුගිය 07 වන දින උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නයනතිව් දුපතෙහි සුදල්අඩි මුහුදු වෙරළේ තිබී හෙරෝයින් වර්ගයේ මත් කුඩු ග්‍රෑම් 54 ක් සොයා ගෙන ඇත. ඒවා සුක්‍ෂම ලෙස පොලීතීන් පාර්සලයක් තුල සඟවා තිබියදී සොයා ගෙන ඇති අතර, එම මත් තුඩු පාර්සලය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය 07 වන දින මුර සංචාරයේ යෙදී සිටියදී එරක්කණ්ඩි මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහීදි ඔහු සතුව තිබූ තහනම් දැල් 03 ක්, අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 12 ක්, මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 05 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයා, මත්ස්‍ය තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා නිලාවේලි, වනජීවී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් පිරිසක් සමඟ පසුගිය 08 වන දින මීගමුව ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මත් පෙති 3600 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මත්පෙති තොගය විකිණිම සඳහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ අනුව, එම පුද්ගලයා, ත්‍රි රෝද රථය සහ මත් පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.