‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ ජුනි 24 දා වැලිසර නාවික හමුදා ධාවන පථයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘‍කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය ජුනි මස 24 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විමට නියමිතව ඇත.

මෙම තරඟාවලිය සම්බන්ධයෙන් ඊයේ (ජුනි 12) දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී නාවික හමුදා, මාණ්ඩලික ප්‍රධානී සහ ‘‍කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලියේ සභාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පවත්වන ලදී. එහදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් රොසයිරෝ මහතා පසුගිය වසරේ ආරම්භ කරන ලද මෙම තරඟාවලිය තුලින් මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීමට අවස්ථාවක් උදා වූ බවත් එමඟින් එම තරඟාවලිය සාර්ථක කර ගැනීමට හැකි වූ බවත් සඳහන් කරන ලදී. තවද, මෙවර තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා මෙන්ම දිවයිනේ මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් විශාල පිරිසක් සහභාගිවීමට නියමිත බවත් එතුමන් පැවසීය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා, අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු ලසන්ත ගමගේ මහතා, නාවික හමුදා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංචිතයේ සභාපති, කොමදෝරු සුනන්ද කළුආරච්චි මහතා, තරඟාවලි සංවිධායක සහ නාවික හමුදා පුහුණුකරු, ගායන් සඳරුවන් මහතා, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ සභාපති, එම්කේ හුසෙන් මහතා සහ තරඟාවලියේ අධ්‍යක්‍ෂ, කීයාෂ් දීන් මහතා සහභාගීවි සිටියහ.

තවද, යතුරු පැදි අංශයේ තරඟ 11 ක් මෙන්ම මෝටර් රථ අංශයේ තරඟ 14 කින් යුක්ත මෙම ‘‍කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලියේ, ඒ ඒ තරඟ අංශයන් සඳහා යතුරු පැදි කරුවන් 120 ක් සහ මෝටර් රථ ධාවකයන් 110 ක් සමගින් 200 කට අධික ක්‍රීඩකයන් පිරිසක් සහභාගි වීමට නියමිතය.

වැලිසර, නාවික හමුදා ධාවන පථයෙහි යතුරු පැදි ධාවන පථය කිලෝමීටර් 1.8 ක දිගකින් යුක්ත වන අතර, එය වංගු සහිතව සකසා ඇති ශ්‍රී ලංකාවේ විශාලම පිම්මක් සහිත ධාවන පථය වේ. ධාවන පථය පිහිටි භූමි ප්‍රදේශය මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ ගමන් මාර්ගය මනා ලෙස නිරීක්ෂණය කර ගත හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. තවද, ධාවන පථය දෙපස පිහිටි උස් වේදිකාව මත සිට ප්‍රේක්ෂකයින් 10,000 කට පමණ පහසුවෙන් තරඟ නැරඹීමේ අවස්ථාව සළසා දී ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සියළු යටිතල පහසුකම් වලින් සමන්විත වන පරිදි මෙම ධාවන පථය නිර්මාණය කර ඇති අතර, එය බොරළු යොදා සැකසූ දැනට ශ්‍රී ලංකාවේ පවතින උසස්ම ධාවන පථයක් ලෙස සැළකේ.

මෙම තරඟාවලිය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් ඉදිරිපත් වී සිටින අතර, Shell Lubricants distribution ආයතනය, CEAT Marketing  පුද්ගලික ආයතනය, ‘Stafford Motors’ සමාගම, ‘LOLC’ රක්‍ෂණ සමාගම, ‘Hutch’ පුද්ගලික සමාගම, ‘Elephant House’ පුද්ගලික සමාගම, ‘Causeway Paints’ පුද්ගලික සමාගම, LR මෝටර්, Lakspray-daily  සමාගම සහ Niwasi ආයතනය ඒ අතුරින් ප්‍රධාන වේ. මෙම තරඟාවලියේ නිළ මාධ්‍ය අනුග්‍රහය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ වැනල් අයි ආයතනය සපයනු ලබයි.

මෙම තරඟ සංවිධානයෙන් ලැබෙන අරමුදල්, සටනේදී මිය ගිය, ආබාධිත තත්ත්වයට පත් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට මෙන්ම නාවික පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.