නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ නීති විරෝධී ධිවර ආම්පන්න ලඟ තබා ගැනීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය ‍ජුනි  13 වන දින නැගෙනහිර මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයකදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  එහිදී ඩිංගි යාත්‍රාවක්, තහනම් දැල් 02 ක් සහ අල්ලන ලද මසුන් කිලෝගෑම් 134 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, මත්ස්‍ය තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දෙන ලදී.   

තවද, උතුරුමැද නාවික විධානයට අයත් නාවිකයින් විසින් පසුගිය 14 වන දින සව්ත්බාර් පුදේශයේ පදුරක් යට සඟවා තිබූ ජෙලනයිට් කූරූ (Gelignite Sticks) 10ක්, විදුලි නොවන ඩෙටනේටර් (Nonelectrical Detonator)  04 ක් සහ සේවා නූල් (Safety Fuse) 04 ක් සොයාගෙන ඇත. සොයාගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාර දෙන ලදී.  

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය 14 වන දින සින්නපාඩු වෙරළතීරයේ පා මුර සංචාරයක යෙදී සිටියදී නීති විරෝධි ධිවර ආම්පන්න ලඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.  එහිදී ඔවුන් සතුව තිබී තහනම් දැලක් සහ තෙප්පමක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, තහනම් දැල සහ තෙප්පම ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දෙන ලදී.   

තවද, පසුගිය 15 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 09 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.