චිනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

මෙරටට පැමිණි සිටින චිනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ලුතිනන් ජෙනරාල් සීයාවෝ ටියාං ලියාන්ග් මහතා (Lieutenant General Ziao Tian Liang) ඇතුළු නියෝජිතයින් පිරිස ඊයේ (ජුනි 20) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදි විශේෂ සම්මාන අචාර මුරයක් පිරිනමමින් ඔවුන් දකුණු නාවික විධානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලද අතර, මෙම නියෝජිත පිරිසට චින ආරක්ෂක අංශ නිලධාරීන් 24 දෙනෙකු ඇතුළත්ව සිටි.

ඉන් අනතුරුව , ලුතිනන් ජෙනරාල් ටියාං ලියාන්ග් මහතා දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරල් කපිල සමරවිර මහතා හමුවි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සඳහා දකුණු විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු හසිත ගමගේ මහතා ඇතුළු දකුණු නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. එම විශේෂිත අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

එමෙන්ම, ලුතිනන් ජෙනරාල් ලියාන්ග් මහතා ඇතුළු පිරිස ගාලු කොටුව සහ ගාලු කොටුව සමුද්‍ර කෞතුකාගාරය නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් ජගත් ප්‍රේමරත්න මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා ජයසාගර නෞකාවේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් දුමිඳු අබේවික්‍රම මහතා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වෙයි මහතා ද සහභාගීවී සිටියහ.