නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම ඇ‍මෙරිකා එක්සත් ජනපදයේ ක්‍රිඩා සංචාරයක නිරත වෙයි
 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවිජර්සි හි ආධුනික බේස්බෝල් සංගමයේ කොමසාරිස් ලැරි ෆ්රූන්ක් මහතාගේ ආරාධනාවකට අනුව 2015, 2017 සහ 2018 වර්ෂයන්වලදි ජාතික බේස්බෝල් ශූරතාවයන් හිමිකර ගත් ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම පසුගිය ජුනි 02 වන දින සිට ජුනි 10 වන දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ සුහද බේස්බෝල් තරඟ සංචාරයක නිරත වීය.

නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම සුහද ක්‍රීඩා තරඟ 04 ක් සඳහා සහභාගී වූ අතර, එහිදී, ඇමෙරිකා, නිව්ජර්සි හි බ්ලුම්ෆිල්ඩ් බසර්ඩ්ස් (Bloomfield Buzzards), බ්රන්ච්බර්ග් ටොටුගස් (Branchburg Tortugas)‍, බර්ගන්බුල්ස් (Bergen Bulls) සහ වුඩ්ර්ජ් ටයිටන්ස් (Wood-Ridge Titans) යන සමාජ සමඟ තරඟවදින ලදී. එහිදී, පැමිණ සිටි ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමින් තරඟ 03 ක ජයග්‍රහණය නාවික හමුදා කණ්ඩායම සතු කර ගැනීමට සමත් වන ලදී.  

තවද, මෙහිදි නාවික හමුදා බේස්බෝල් ක්‍රීඩකයින් සිය සුපුරුදු දක්‍ෂතාවයන් මනාව ඉස්මතු කරමින් ක්‍රීඩා කළ අතර, එහිදි දිවාරාත්‍රි තරඟවලට සහභාගීවිමෙන් නව අත්දැකිමක් ‍ලබා ගැනීමට ද ක්‍රිඩකයින් හට අවස්ථාව හිමිවන ලදී. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන බේස්බෝල් තරඟාවලිය වන Major Baseball League තරඟ නැරඹිමටද ක්‍රීඩකයින් හට අවස්ථාව උදා වීය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත අධ්‍යක්‍ෂ ක්‍රීඩා,කොමදෝරු ලසන්ත ගමගේ මහතා සහ නාවික හමුදා බේස්බෝල් ක්‍රීඩා සංචිතයේ නිලධාරින්ගේ මඟපෙන්විම සහ සවුත් ඒසියා ගේට්වේ ටර්මිනල්ස් පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව සහ කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටමිනල් යන ආයතන දක්වන ලද මුල්‍ය දායකත්වය හේතුවෙන් මෙම ක්‍රීඩා සංචාරය සාර්ථක කර ගැනීමට හැකි වූ අතර,  ඇමෙරිකාවේ නිව්යෝක් හා නිව්ජර්සිහි වෙසෙන ශ්‍රීලාංකිකයින් දක්වන ලද විශේෂ අනුග්‍රහය සහ සහය මෙහිදී කැපි පෙනුණි.

මෙම ක්‍රීඩා සංචාරය සඳහා  නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම් භාර නිලධාරි කොමාණ්ඩර් නිලංග ධර්මරත්න මහතා සහ නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම් කලමණාකරු, ‍ලුතිනන් කොමාණ්ඩර් රෝෂාන් කටුවාවල මහතා සහභාගි වීය.