ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය ලෝක ජලශාස්ත්‍රීය දිනය සමරයි
 

ලෝක ජලශාස්ත්‍රීය දිනය අද (ජුනි 21) දිනට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය විසින් එම දිනය සැමරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක ජලශාස්ත්‍රීය දිනය සැමරීම අද දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමා, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමා, කොළඹ වරාය භාර වරාය පාලකතුමා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ද සහභාගිවි සිටියහ.

ලෝක ජලශාස්ත්‍රීය දිනයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය සිය නිල වෙබ් අඩවිය hydro.navy.lk වශයෙන් එලිදක්වනු ලැබූ අතර, ජලශාස්ත්‍රීය ඒකකය මඟින් නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක බලකායට අයත් මුර සංචාරක යාත්‍රාවන්ට වැදගත්වන වැලිගම බොක්ක ආශ්‍රිත විද්‍යුත් නාවික සිතියම ද ප්‍රකාශයට පත් කරන ලදී. තවද, මෙය නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය මඟින් නිකුත් කරන ලද ප්‍රථම  විද්‍යුත් නාවික සිතියම ලෙස හැදින්විමට පුළුවනි. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය සහ එක්සත් ජාතීන්ගේ ජලශාස්ත්‍රීය කාර්යාලය හා එක්ව මෙම  වැලිගම බොක්ක ආශ්‍රිත විද්‍යුත් නාවික සිතියම ජාත්‍යන්තර මට්ටමට නිර්මාණය කර එම සිතියම ‍අන්තර්ජාතික වශයෙන් නාවික සිතියම් භාවිතා කරනු ලබන නාවික ප්‍රජාව වෙත නිකුත් කිරීමට ඉදිරියේදි කටයුතු කිරිමට අපේක්‍ෂාවෙන් සිටී.

තවද,  නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය මඟින් නිර්මාණය කරන ලද කරෛයිනගර් ප්‍රවේශ මාර්ග මුහුදු සිතියම සහ කච්චතිව් දුපත ආශ්‍රිත මුහුදු සිතියම ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ලබන රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා විසින් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වෙත භාරදී, නිල වශයෙන් නාවික හමුදාව වෙත භාරදීම සනිටුහන් කරන ලදී.

තවද, ලෝක ජලශාස්ත්‍රීය දිනයට සමගාමිව විශ්‍රාමික නාවික හමුදා නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර මහතා විසින් පෞරාණික වැදගත්කමකින් යුතු සිතියම් සහ පොත් නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය වෙත ප්‍රදානය කිරීම ද අද දින සිදු කෙරුණු අතර, අදාල සිතියම් ලුතිනන් කොමාණ්ඩර් දේවේන්ද්‍ර මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා හට ප්‍රදානය කරන ලදී. අතීතයේදී මුහුදු ගමනාගමනය සඳහා භාවිත කරන ලද සටහන් සහ මුහුදු මාර්ග ඇතුළත් “PERIPLUS” නම් ඉතා පැරණි ග්‍රන්ථයද මෙම පොත් අතරට ඇතුලත් වේ.  

උත්සවයේ ප්‍රධාන දේශණය සිදු කළ ‍නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය මඟින් ඉටු කරනු ලබන සේවය අගය කරන බවත්, නාවික පුද්ගලයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් සිතියම් ගත නොවු මුහුදු ප්‍රදේශයන් සිතියම් ගත කරමින් ඔවුන් විශිෂ්ඨ සේවයක් ඉටු කරනු ලබන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා විසින් ‍නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත සමරු තිලිණයක් ද ප්‍රදානය කරන ලදී.

එමෙන්ම මෙම වසර තුළදී ශ්‍රීලංකාව වටා ඇති මුහුදු මාර්ගයන් විද්‍යුත් නාවික සිතියම් වශයෙන් නිර්මණය කිරීමට  නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය බලපොරොත්තුවෙන් සිටී.