බංග්ලාදේශය සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්
 

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත බංග්ලාදේශ සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවක් පසුගිය ජුනි 18 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී. පාඨමාලාවේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් අරුණ වීරසිංහ මහතා සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සමුද්‍රීය නීති උපදේශකවරුන්ද සහභාගිවී සිටියහ. තවද, මෙම පාඨමාලාව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් රසික දිසානායක මහතාගේ පුර්ණ අධක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවනවරට පවත්වනු ලබන මෙම පාඨමාලාව සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැත්වේ. ඒ අනුව බංග්ලාදේශය, මාලදිවයින යන රටවල නාවික හමුදා නිලධාරින් 16 දෙනෙකු සහභාගී වන අතර, ඒ සඳහා බංග්ලාදේශ නාවික පුද්ගලයින් 08 දෙනෙකු සහ මාලදිවයින නාවික පුද්ගලයින් 08 දෙනෙක් ඇතුළත් වේ. තවද, මෙවර එම පාඨමාලව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය නියෝජනය කරමින් නාවික පුද්ගලයින් 12 දෙනෙකු සහභාගීවන අතර, මෙම පාඨමාලාව තුළදී ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සූදානම් කිරීම හා ප්‍රවාහනය මැඩපැවැත්විම පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරනු ලබයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්, අපරාධ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් ගෝලීය ප්‍රජාව ආරක්ෂා කර ගැනීමේ ප්‍රධානතම කාර්යය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත පැවැරි ඇති අතර, එම කාර්යාලය මඟින් සිය සාමාජික රටවල් සඳහා නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, සාගරික අපරාධ, ත්‍රස්තවාදි කටයුතු සහ අනවසර මිනිස් ජාවාරම් වැනි කටයුතු මර්ධනය කිරීම සඳහා සිය දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි. තවද, නෞකාවල සෝදිසි කටයුතු සිදු කිරීම සඳහා විශේෂ දැනුමක් සහ අත්දැකිමක් ඇති පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය හදුන්වාදීමට පුළුවනි.