රාජ්‍ය සේවා මලල ක්‍රීඩා දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස නාවික හමුදා සිවිල් සේවක මහතෙකු ඇගයීමට ලක් කෙරේ
 

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය පසුගිය ජුනි 09 වන දින රාජගිරිය, කලපලුවාව කුරුලු උයනේදී පැවැති අතර, එය සංවිධානය කර තිබුණේ රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමය විසිනි. එහිදී ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ විදුලි දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ලබන සිවිල් සේවක ඊඑම් ජයවර්ධන මහතා හට 2017 වර්ෂයේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය පිරිනමන ලද අතර, එය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, පද්මිණි ඉන්ද්‍රකාන්ති මහත්මියගේ සුරතින් ලබා ගන්නා ලදී.  

1997 වර්ෂයේ නාවික හමුදාවට සිවිල් සේවක සාමාජිකයෙකු වශයෙන් එක්වී ඇති ඒ මහතා දැනට වසර 22 ක අඛණ්ඩ ගෞවරණිය සේවයක් නාවික හමුදාවට ලබා දෙමින් සිය ක්‍රීඩා කෞෂල්‍යයන් දියුණු කර ගනිමින් ක්‍රීඩා තරඟ ඉසව් රැසකට සහභාගිවී දෙස් විදෙස් තරඟ ජයග්‍රහණ හිමි කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම සිය මාතෘ භූමියට කීර්තියක් අත්කර දීමට සමත්ව ඇත.

ඒ අනුව, 2009 වසරේ රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 100 ක් දුර දිවිමේ තරඟයෙන් ප්‍රථම ස්ථානය ද 2013 වසරේ තායිපේ පැවැති ආසියාතික මලල ක්‍රීඩා තරඟාවලයේදී රටවල් 21 ක තරඟකරුවන් අභිබවා ගොස් මිටර් 400 තරඟයෙන් 05 වන ස්ථානයද, 2014 ව‍සරේ ජපානයේ පැවැති ප්‍රවිණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලයේදී මිටර් 400 දිවිමේ තරඟයෙන් 04 වන ස්ථානය ද හිමි කර ගෙන ඇත.  තවද, 2016 වසරේ සිංගප්පුරුවේ පැවැති 19 වන ආසියාතික මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 100 දුර දිවිමේ තරඟයෙන් ලෝකඩ පදක්කම හිමි කරගෙන ඇති අතර, 2017 වර්ෂයේ චිනයේ පැවැත්වු 20 වන ප්‍රවිණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලියේ මිටර් 400 දුර දිවිමේ තරඟයෙන් රන් පදක්කම සහ මිටර් 100 දුර දිවිමේ තරඟයෙන් ලෝකඩ පදක්කම හිමි කර ගෙන ඇත. එමෙන්ම, 2018 වසරේ ස්පාඤයේ පැවැත්වීමට නියමිත ලෝක ප්‍රවිණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා ද ඊඑම් ජයවර්ධන මහතා සහභාගිවීමට නියමිතව ඇත.

තවද, 2017 වර්ෂයේදී පවත්වන ලද මලල ක්‍රීඩා උළලේදී තුන් පිම්ම, දුර පැනීම සහ උස පැනීම යන ක්‍රීඩා ඉසව් වලින් සිවිල් සේවක ඊඑම් ජයවර්ධන මහතා ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වන ලදී. එමෙන්ම, ජයවර්ධන මහතාගේ පුහුණු කටයුතු සඳහා නැගෙනහිර ප්‍රදේශභාර හිටපු ආඥාපතිවරුන් මෙන්ම කොමදෝරු විදුලි දෙපාර්තමේන්තුව (නැගෙනහිර) භාරව කටයුතු කළ නිලධාරින් අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කර ඇති අතර, වත්මන් නැගෙනහිර ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහ, කොමදෝරු විදුලි දෙපාර්තමේන්තුව (නැගෙනහිර), කොමදෝරු අරුණ ඇන්තනී මහතා ඇතුළු සියළුම නාවික හමුදා නිලධාරින්, නාවිකයින් මෙන්ම සිවිල් සේවක මහත්ම මහත්මින් තවදුරටත් ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරමින් සිටී.