නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගැනීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය 19 වන දින දළුව ප්‍රදේශයේ වෙරළ තීරයේ පා මුර සංචාරයක යෙදී සිටියදී නීති විරෝධී දැල් ලඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී තහනම් දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ තහනම් දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක වෙත භාර දෙන ලදී.

උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් විසින් පසුගිය 19 වන දින වෙඩිතලතිව් වෙරළේදී නිතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 33 ක් සහ වල්ලම් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් තොගය සහ වල්ලම් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙඩිතලතිව්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, එදිනම පල්ලමුනෙයි ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) උතුරුමැද නාවික විධානයට අයත් නාවිකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී තහනම් දැලක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, තහනම් දැල සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක වෙත භාර දෙන ලදී.

පසුගිය 19 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැලක් සොයාගෙන ඇති අතර, එම දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් පසුගිය 20 වන දින නැගෙනහිර මුහුදු තීරයේ නිලාවේලී ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා 02 ක්, තහනම් දැල් 03 ක්, අල්ලන ලද මසුන් කිලෝගෑම් 23 ක් සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් මැරීම සඳහා යොදාගන්නා ජෙලග්නයිට් කූරූ (Gelignite Sticks) 10ක්, විදුලි නොවන ඩෙටනේටර් (Nonelectrical Detonator) 04 ක් සහ සේවා නූල් (Safety Fuse) 04 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසීය වෙත භාරදුන් අතර, ඩිංගි යාත්‍රා, මත්ස්‍ය තොගය, පුපුරණ ද්‍රව්‍ය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දෙන ලදී.

නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය ධීවර පරීක්‍ෂක සමගින් පසුගිය 20 වන දින නිලාවේලී සහ අඩුක්කුපාඩු ප්‍රදේශවල සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් 02 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත. එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දෙන ලදී.

තවද, පසුගිය 21 වන දින උතුරු නාවික විධා‍නයට අයත් නාවිකයින් හා ඩෙල්ෆ්ට් දූපත් වාසී සිවිල් ජනතාව සමග සම්බන්ධ වී ඩෙල්ෆ්ට් දූපත වටා වෙරළ තීරය පිරිසිදු කිරීමේ දී සැකකටයුතු පාර්සලයක් හමුවී ඇති අතර, එය පරීක්‍ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 28.37 ක ප්‍රමාණයක් එහි ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.