ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයත‍නයේ නව ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කෙරේ
 

වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නව ප්‍රධාන පිවිසුම් දොරටුව ඊයේ (ජුලි 09) බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

මෙම පිවිසුම් දොරටුව ආයතනයේ අණදෙන නිලධාරි, ‍කපිතාන් රුවන් හෙට්ටිආරච්චි මහතාගේ සෘජු අධික්‍ෂණය සහ මඟපෙන්විම යටතේ මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ අලංකාරවත්ව ඉදි කිරීමට කටයුතු කර ඇති අතර, ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම සිවිල් ඉංජිනේරු අංශයට අනුයුක්ත නාවික පුද්ගලයින් සිය ශ්‍රම දායකත්වය මේ සඳහා සපයා ඇත. එම කාර්යය අගයනු වස් අණදෙන නිලධාරිතුමා විසින් එම නාවික පුද්ගලයින් හට ප්‍රසංශාත්මක ලිපි ප්‍රදානයක් ද එහිදී සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා නාවික අණභාර නිලධාරි (වැලිසර) සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.