නාවික හමුදා ජලශාස්ත්‍රීය සේවාවෙන් ලක්‍ෂ 16 කට අධික ආදායමක් උපයයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය සිය සේවාවවන් සැපයීමෙන් උපයන ලද රුපියල් මිලියන 1.69 ක (රු. 1,690,000.00) අදායම නාවික හමුදාව වෙත ප්‍රදානය කිරීම නාවික හමුදා මුලස්ථානයේදී අද (ජුලි 12) දින සිදු කෙරුණු අතර, ඊට අදාල ප්‍රේශණපත ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට ප්‍රදානය කරන ලදී.

නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය මඟින් සිය වෘත්තිමය උපදේශන සේවා සැපයිම සහ පෞද්ගලික ආයතන වෙත ජල මිනුම් කටයුතු ආදි විවිධ සේවාවන් සිදු කරනු ලබන අතර, එමඟින් මෙම ආදායම උපයා ගැනීමට කටයුතු කර ඇත.

තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලැබු ජලශාස්ත්‍රීය කටයුතු ක්‍රමවත්ව සිදු කිරීම සඳහා 2012 වර්ෂයේදී නැවත නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය ස්ථාපීත කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, වර්තමාන ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානී, රියර් අද්මිරාල් ජයකොඩි මහතාගේ මඟපෙන්විම හා පුර්ණ අධීක්‍ෂණය යටතේ ජලශාස්ත්‍රීය කටයුතු ක්‍රමවත්ව හා සාර්ථකව කර ගැනීමට හැකිවි ඇති අතර, අනාගතයේදී රට තුළ ජලශාස්ත්‍රීය සේවාව තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට අපේක්‍ෂා කෙරේ.

ජලශාස්ත්‍රීය ඒකකය වර්තමානයේ ලද ජයග්‍රහණ සම්බන්ධයෙන් ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානී ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලය වෙත නාවික හමුදාධිපතිතුමා විසින් සිය ප්‍රශංසාව පුද කළ අතර, ඒකකයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය ලබා දිමට කටයුතු කරන බව ද එතුමන් ප්‍රකාශ කරන ලදී.