අනතුරට පත් ධීවරයින් බේරාගත් නාවික හමුදා මෙහෙයුම
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදාව විසින් බහුදින ධීවර යාත්‍රාවක අතරමංව සිටි ධීවරයින් 06 දෙනෙකු බේරා ගැනීමට සමත් වි ඇත. ‘අග තිසා 01’ නමැති මෙම ධීවර යාත්‍රාව පසුගිය ජුනි මස 20 වන දින දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ‍ගොස් ඇති අතර, දකුණු මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂශයක් හේතුවෙන් ඔවුන් මෙසේ අනතුරට ලක් වී ඇත.

අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදාව ධීවරයින් බේරා ගැනීම සඳහා ක්‍ෂණිකව මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එම මෙහෙයුම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානය මඟින් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් සහාය ඉල්ලා සිටි අතර, ඒ සඳහා ඇමෙරිකා එක්සත් ජනපද 07 වන නාවික හමුදා බලඇණියෙහි සහාය ලබා දීමට කටයුතු කරන ලදී. ඒ අනුව, එම බලඇණිය මඟින් මුර සංචාරක ගුවන් යානාවක් පිටත් කර යැවිමට කටයුතු කර ඇති අතර, ධීවර යාත්‍රාව පිහිටි ස්ථානය නිවැරදිව දැනුම්දිමෙන් අනතුරුව, නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව අදාල ධීවර යාත්‍රාව ‍මුදවා ගැනීම සඳහා පිටත් කර යැවිමට කටයුතු කරන ලදී. ඒ අනුව ඊයේ (ජුලි 11) දින දෙවුන්දර ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 640 ක පමණ දුරකදී  ධීවරයින් සහ ධීවර යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස මුදවා ගැනීමට කටයුතු කරන ලදී.  

තවද, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට හැකි වූ අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව පෙන්වාදීමට හැකිය.