නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම, ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවීම සහ තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 09 වන දින පේදුරුතුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 15 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 30 ක්, ඩිංගි යාත්‍රා 05 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 09 වන දින පෙරිය අරිච්චායි මුහුදු ප්‍රදේශයේදී ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය ජුලි 09 සහ 11 යන දෙදින තුලදී නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 32 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ගිනිකොණ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 11වන දින පනයෙඩ්ඩිපිඩි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 35 ක්, මුහුදු බෙල්ලන් 36 ක්, ඩිංගි යාත්‍රා 02 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන්, මුහුදු බෙල්ලන්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔළුවිල්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක්, වාකරෙයි පොලීසිය සමග පසුගිය ජුලි 11 වන දින වාකරෙයි ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබු කේරළ ගංජා ග්‍රෑම් 03කට ආසන්න ප්‍රමාණයක් සහ ප්‍රවාහනය සඳහා යොදාගන්නා ලද ත්‍රීරෝද රථය නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයා, කේරළ ගංජා සහ ත්‍රීරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වාකරෙයි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය ජුලි 12 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් පූනඩි මුහුදු වෙරළ ප්‍රදේශයේදී පාමුර සංචාරයක යෙදී සිටියදී නීති විරෝධී ආම්පන්න ලඟ තබාගෙ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබූ තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයා, තහනම් දැල සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 13 වන දින යාපනය, කොටුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රෙද්ශයේ මුර සංචාරයක සිටියදී නීතිවීරෝධී ලෙස හරක් මස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබු හරක් මස් කිලෝග්‍රෑම් 150 ක් සහ වල්ලම් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, හරක්මස් තොගය සහ වල්ලම් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක්, මණ්නාරම පොලිස් විශේෂ කාර්ය බළකාය සමග පසුගිය ජුලි 14 වන දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කිරීමේදී නීති විරෝධී මත් ද්‍රව්‍ය අලෙවි කිරිමට සූදානම් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබු කේරළ ගංජා ග්‍රෑම් 110 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මණ්නාරම, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාර දීමට කටයුතු කරන ලදී.