මුහු‍දේ පාවෙමින් සිටි ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගැනේ
 

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජුලි 16) මුහුදේ පාවෙමින් සිටි ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුගේ (02) දිවි බේරා ගැනීමට සමත් විය.  

කච්චතිව් පිහිටි නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කච්චතිව් දූපතට වයඹ දෙසින් නාවික සැතපුමකට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සෘජුෆෝම් අධාරකයක් මත පාවෙමින් සිටී ධීවරයින් දෙදෙනෙකු නිරීක්ෂණය කොට ඇති අතර, ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ධීවරයින් මුදවා ගැනීම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් එම ඉන්දීය ධීවරයින් දෙදෙනා නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් පසු කන්කසන්තුරයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, අනතුරුව ඔවුන් හට ප්‍රථමාධාර පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලදී. තවද, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් කන්කසන්තුරෙයි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.