නාවික හමුදා ජාලමාන විද්‍යා ඒකකයේ ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා‍ ජලමාන විද්‍යා ඒකකයේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා පසුගිය ජුලි 19 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ‍ලේකම්, ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා හමු විය.

ශ්‍රී ලංකා නාවික හමුදා ජලමාන ඒකකය ශ්‍රී ලංකාව තුල සිදු කරගෙන යනු ලබන සේවාවන්හි වර්තමාන ප්‍රගතිය පිළිබඳව ආරක්ෂක ලේකම්තුමා දැනුවත් කිරීම සඳහා මෙම නිල හමුව පැවැති අතර, එහිදී, ජලමාන විද්‍යා ඒකකයේ ප්‍රධානී විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අකාරයෙන් ගැඹුරු මුහුදු මිනුම් කටයුතු සිදු කිරීම සඳහා ජලමාන ඒකකය මේවන විට වැඩපිලිවෙලක් සකස් කරමින් සිටින බව ද ආරක්‍ෂක ලේකම්තුමා වෙත දන්වා සිටින ලදී. අනතුරුව, ශ්‍රී ලංකාවේ ජලමාන කටයුතු පිළිබඳව නාවික හමුදා දායක්ත්වය නිරූපණය කෙරෙන කෙටි වාර්තාමය වැඩසටහනක් නැරඹිමට ද ආරක්‍ෂක ලේකම්තුමා සහභාගී විය.

විවිධ පාර්ශවයන් ශ්‍රී ලංකාව තුළ ජලමාන විද්‍යා සමීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර, එම කටයුතු ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවන අයුරින් සිදු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් නාවික හමුදා‍ ජලමාන විද්‍යා අංශයේ ප්‍රධානී රියර් අද්මිරාල් ජයකොඩි මහතා හට උපදෙස් ලබා ‍දෙන ලදී.

ජලමාන විද්‍යා ඒකකයේ ප්‍රධානී විසින් නාවික හමුදා ජලමාන ඒකකය මඟින් නිර්මාණය කරන ලද ආරක්‍ෂක සිතියම් දෙකක් ආරක්‍ෂක ලේකම්තුමා වෙත ප්‍රදානය කිරීමද එහිදී සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.