මුහු‍දේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් හය‍දෙනෙකු (06) නාවික හමුදාව විසින් බේරා ගැනේ
 

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි උතුරු නාවික විධානයට අයත් නෞකාවකට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 22) මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් හයදෙනෙකුගේ (06) දිවි බේරා ගැනීමට සමත් විය.  

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරක රාජකාරියේ යෙදී සිටි වේග ප්‍රහාරක මුර නෞකාවක් මඟින් කොවිලම් තුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 15 ක පමණ දුරකදී දියේ ගිලෙමින් තිබූ ධීවරයින් පිරිස නිරීක්ෂණය කොට ඇති අතර, ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ එම නෞකාවට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පිරිසක් විසින් ධීවරයින් හයදෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කරන ලදී.

ධීවරයින් නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් පසු මුර සංචාරයේ යෙදි සිටි වේග ප්‍රහාරක යාත්‍රාවක් වෙත එම ධීවරයින් භාර දිමට කටයුතු කළ අතර, පසුව වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් එම ධීවරයින් ආරක්ෂාකාරී ලෙස කන්කසන්තුරයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. අනතුරුව ඔවුන් හට ප්‍රථමාධාර පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කළ අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම ධීවරයින් කන්කසන්තුරෙයි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.