ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් ‍එස්සී මොහාන්තී ( Major General SC Mohanty) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (අගොස්තු 27) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී දූත මණ්ඩල ප්‍රධානී මේජර් ජෙනරාල් ‍එස්සී මොහාන්තී මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවී සුහද කථාබහක නිරත විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව පිළිබඳව සහ ආරක්ෂක හා ජාතික අරමුණු ළඟාකර ගැනීම සඳහා ඉන් ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමක් සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම සාකච්ඡාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජීව ඩයස් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි විය.