මුහුදේදී ආපදාවට ලක් වූ ධීවරයින් හට නාවික හමුදාවෙන් සහාය
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පසුගිය අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමල ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 653 ක් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට සමත් විය. ඒ අනුව, ‘ජය ඉසුරු 3’ නමැති මෙම ධීවර යාත්‍රාවේ ඇති වූ දෝශයක් හේතුවෙන් අනතුරට පත්වි ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් දැනුම් දි ඇති අතර, ලද තොරතුරකට අනුව ‘බ්‍රයන් පුතා’ නැමැති ධීවර යාත්‍රාව මඟින් ‘ජය ඉසුරු 3’ යාත්‍රාව ඇදගෙන ඒම සඳහා ඒවන විටත් කටයුතු කර තිබුණි.

මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා මූලස්ථානයේ උපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව මුහුදේ රළු භාවයද නොතකමින් එම යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත් වන ලදි. ඒ අනුව පසුගිය අගෝස්තු මස 19 වන දින රාත්‍රි 10 පැයට පමණ ත්‍රිකුණාමලය, ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 603 ක් ඊසාන දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේ මෙම ධීවර යාත්‍රාව පාවෙමින් තිබෙන බව සමුදුර නෞකාව මඟින් නිරික්‍ෂණය කර ඇති අතර, අගෝස්තු 20 වන දින එම මුහුදු ප්‍රදේශයේ තිබූ අනෙකුත් ධීවර යාත්‍රාවන්ගේ සහාය ඇතිව අනතුරට පත් යාත්‍රාව ඇදගෙන ඒම ආරම්භ කරන ලදී. තවද, එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ඉෂානි දුව 06’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගීව සිටින බව ‘සමුදුර’ නෞකාව වෙත නාවික හමුදා මූලස්ථානය විසින් දැනුම්දී ඇති අතර, ඒ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වූ නෞකාවේ නිලධාරින් සහ නාවිකයින් එම රෝගියා ‘සමුදුර’ නෞකාව වෙත ලබා ගැනීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව නෞකාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මඟින් එම රෝගියා හට මූලික ප්‍රථිකාර ලබා දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, අගෝස්තු 25 වන දින ‘ජය ඉසුරු 3’ ධීවර යාත්‍රාව සහ ‘ඉෂානි දුව 06’ ධීවර යාත්‍රාවේ සිටි රෝගියා ආරක්‍ෂාකාරී ලෙස ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලද අතර, බේරාගත් ධීවරයින් සහ ධීවර යාත්‍රාව ත්‍රිකුණාමලය, ධීවර කාර්යාලය වෙතත් රෝගියා කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා නාවික රෝහල (නැගෙනහිර) වෙතත් ඇතුළත් කෙරුණි.

මෙම මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා පැය 188 ක් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව ගත කර ඇති අතර, ඉන්ධන ලිටර් 43,538 ක් දහනය කර ඇත. ඒ සඳහා රුපියල් 4,745,642.00 ක් වැය වි ඇති බව ඇස්තමේන්තුගත කර ඇති අතර, දුර්වල නඩත්තුව හේතුවෙන් අබලන් වූ ධිවර යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් රුපියල් මිලියන 24.8 ක් සම්පුර්ණ වශයෙන් නාවික හමුදාව වැය කර ඇත.

කෙසේ වෙතත්, අන්තර්ජාතික සම්මුතීන් අනුව මුහුදේ ජීවිත ආරක්ෂාව සඳහා ප්‍රතිචාර දැක්වීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අවබෝධ කරගෙන ඇති අතර, ශ්‍රී ලාංකිකයින් හට බොහෝ විට මුහුදේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වලදි ඒ සඳහා ප්‍රතිචාර දැක්විමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.