ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව භාර ගනී
 

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව නාවික හමුදාධීපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දිම ඊයේ (අගෝස්තු 27) හවායි දුපතේ හොනොලුලු හිදි සිදු කෙරුණි.

ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ෂර්මන්’, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් දෙවන ඇමරිකානු වෙරළ ආරක්ෂක නෞකාව වන අතර, දැනට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා කණ්ඩායමට ඇතුලත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ ඇමෙරිකානු වෙරළාරක්‍ෂක බලකාය මඟින් ලබා ගන්නා ලද පළමු නෞකාව වේ.

ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව මිටර් 115 ක දිගින් යුතු යුද ශිල්පීය අවි ආයුධ වලින් සමන්විත නෞකාවක් වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිතා වන විශාලතම නෞකාව බවට පත්වේ. ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත. තවද, මෙම නෞකාව ඇමෙරිකානු වෙරළාරක්‍ෂක බලකායට අනුයුක්තව තිබූ කාල සීමාවේදී මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ටොන් 17 කට වැඩි ප්‍රමාණයක් අල්ලා ගැනීමෙන් වාර්තාවක් ද තබා ඇත.

ඇමෙරිකානු වෙරළාරක්‍ෂක බලකායේ අත්පත්කර ගැනීම් අංශයේ සහකාර ආඥාපති සහ ප්‍රධාන නිලධාරි, රියර් අද්මිරාල් හේකොක් මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට නෞකාව භාර දිමෙන් පසු නාවික හමුදාධිපතිතුමා විසින් නෞකාවේ නම් කරන ලද අණදෙන නිලධාරි, කපිතාන් අරුණ තෙන්නකෝන් මහතා හට නිල වශයෙන් නෞකාව භාර දීමට කටයුතු කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා හවායිහි ශ්‍රී ලංකා නියෝජිත ගරු ධම්මික කුරේ මහතා, ඇමෙරිකානු වෙරළාරක්‍ෂක බලකායේ අත්පත්කර ගැනීම් අංශයේ සහකාර ආඥාපති සහ ප්‍රධාන නිලධාරි, රියර් අද්මිරාල් හේකොක් මහතා, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර දියත් විධානයේ අධ්‍යක්‍ෂ සාගරික මෙහෙයුම්, රියර් අද්මිරාල් මාර්ක් එච්. ඩෝල්ටන් මහතා, වෙරළාරක්‍ෂක නෞකා ෂර්මන් නෞකාවේ හිටපු අණදෙන නිලධාරි, කපිතාන් ඒ විලියම්ස්, ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දුපතේ හොනොලුලු නාවික බල ඇණියේ අණදෙන නිලධාරි, කපිතාන් ටී. රාස්මසන් මහතා සහ ජාත්‍යන්තර අත්පත්කර ගැනීම් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානී, ටොඩ් රේයිනට් මහතා මෙන්ම හවායි හි සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද සහභාගිවී සිටියහ.

මෙම උත්සවයට සමගාමීව නාවික හමුදාධිපතිතුමා ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දුපතේ හොනොලුලු වෙරළාරක්‍ෂක බල ඇණියේ අණදෙන නිලධාරි, කපිතාන් ටී. රාස්මසන් මහතා හමුවි සුහද සාකච්ඡාවක් පවත්වන ලද අතර, එහිදී හොනොලුලු වෙරළාරක්‍ෂක බලකාය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙනු ලැබූ සහයෝගය ඇගයීමට ද කටයුතු කරන ලදී.

නෞකාව ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට ප්‍රථම නෞකාවේ නැව් මුළුව ශාන්තිකර සාගරය සහ ඉන්දීයන් සාගරය ආවරණය වන පරිදි දින 40 ක පමණ පුහුණු වැඩසටහනකට සහභාගිවිමට නියමිත අතර, 2019 අප්‍රේල් මාසය අගවන විට මෙම නෞකාව ශ්‍රී ලංකාවට සේන්දු විමට නියමිතව ඇත.