සාර්ථක පුහුණු සංචාරයකින් අනතුරුව ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේජ්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පුහුණු සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 24 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් වන ‘ඇන්කරේජ්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව පසුගිය අගෝස්තු 28 වන දින දිවයිනෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

ඒ අනුව, සිව් දින පුහුණු සංචාරයක් සඳහා පැමිණි ‘ඇන්කරේජ්’ නෞකාවට අනුයුක්ත නාවිකයින් ශ්‍රී ලංකා නාවික හමුදා මැරින් බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් සමඟ පසුගිය අගෝස්තු 25 වන දින සාම්පුර් හි පිහිටි මැරින් බලකා මුලස්ථානයේදී  එකාබද්ධ පුහුණු අභ්‍යාසයක් පැවැති අතර, එහිදී සන්නද්ධ රථ පෙළවල් සඳහා ආරක්‍ෂාව සැපයිම, නගර බද මෙහෙයුම් සහ වෙඩි තැබිම් ඇතුළු අභ්‍යාස රාශියක් සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා මැරීන් බලකායේ නිර්මාතෘ වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගිවි සිටියහ.

තවද, ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී ‘ඇන්කරේජ්’ නෞකාවට අනුයුක්ත නාවිකයින් සහ විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් එක්ව ඒකාබද්ධ මුහුදු පුහුණු අභ්‍යාසයක් සිදු කරන ලද අතර, එමඟින්  ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් හට ජලතරණ අභ්‍යාස පිලිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීමටත් පුහුණු කටයුතු වර්ධනය කර ගැනීමටත් අවස්ථාව හිමිවන ලදී. එමෙන්ම, පසුගිය අගෝස්තු 26 වන දින ‘ඇන්කරේජ්’ නෞකාව තුළ ගිනි නිවිමේ සහ ආපදා මර්ධනය පිළිබඳව විශේෂ පුහුණු වැඩසටහනක් පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ. ඒ තුළින්  නාවික පුද්ගලයින් හට නව අත්දැකිමක් ලබා ගැනීමට හැකිවිය.  පුහුණු සංචාරයට සමඟාමීව, නෞකාවේ කාර්ය මණ්ඩලය, දිව‍යිනේ රැදී සිටි කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ සුහද අත්පන්දු සහ පාපන්දු ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වු අතර, ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතිකමය අතින් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමටද සහභාගී වන ලදී.

එමෙන්ම ‘ඇන්කරේජ්’ නෞකාව දිවයිනෙන් පිටත්ව යන මොහොතේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාව සමඟ එකාබද්ධ අභ්‍යාසයක් සඳහා එක් වූ අතර, එහිදී ආපදාවට ලක්වූ නෞකාවක් ඇදගෙන යාම සහ ‍‍නෞකා දෙකක් අතර භාණ්ඩ හුවමාරුකිරීමේ නාවික අභ්‍යාසයන් සිදු කිරීමෙන් අනතුරුව ‘ඇන්කරේජ්’ නෞකාව සිය රට බලා පිටත්ව යන ලදී.