කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සමාරම්භක උත්සවය ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සාමාරම්භක උත්සවය පසුගිය අගෝස්තු 31වන දින ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී පැවැත්වුණී. ඒ අනුව, ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ධජ නෞකාව වන ඕස්ට්‍රේලියානු රාජකීය නාවික ‍නෞකා ‘කැන්බේරා’ නෞකා‍ව තුළදී මෙම උත්සවය පැවැති අතර, ඕස්ට්‍රේලියානු නාවික දියත් විධානය භාර නිලධාරි, රියර් අද්මිරාල් ජොනතන් ඩලාස් මීඩ් (Rear Admiral Jonathan Dallas Mead) මහතා එහි ප්‍රධාන අරාධිත අමුත්තා විය. එමෙන්ම, මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව එක් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් නාවික අභ්‍යාසයක් වෙනුවෙන් මෙතෙක් සිදු කරන ලද දිර්ඝතම සංචාරය ලෙස ද මෙය සනිටුහන් වේ. තවද, අභ්‍යාසය සඳහා එක් වූ රටවල් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් මේ සඳහා සහභාගිවි සිටි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සූජිව පෙරේරා මහතා සහභාගී විය.

තවද, කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයට සමගාමිව ක්‍රීඩා තරඟාවලියක් ඊයේ (සැප්තැම්බර් 02) ඕස්ට්‍රේලියාවේ ඩාවින් වෙරළ තීරයේදී පැවැත්වුණී. ඒ සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් 28 ක් සහභාගි වූ අතර, එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 12 දෙනෙකු එක් වී සිටියහ. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නියෝජනය කරමින් නිලධාරින් දෙදෙනෙකු (02) සහ නාවිකයින් 10 දෙනෙකු සමන්විත කණ්ඩායමක් ඒ සඳහා සහභාගි වන ලදී. එමෙන්ම, මෙම තරඟය සඳහා සහභාගි වූ සියළු කණ්ඩායම් හට පැවරු ඉසව් සියල්ලම අවසන් කළ පසු අදාල කණ්ඩායම් වර්තා කළ කාලය අනුව ජයග්‍රාහි කණ්ඩායම තෝරා ගැනීමට කටයුතු කරන ලදී.

මෙම තරඟාවලියේදී ක්‍රීඩකයින් හට පිහිණුම්, දිවිම්, වියලි බාධක සහ ‘කායක්’ ඔරු පැදීම් මෙන්ම තෙත් බාධක වලින් සමන්විත වූ ඉසව් සඳහා සහභාගීවිමට සිදු වූ අතර, කණ්ඩායම් 28 අභිබවා ගොස් මිනිත්තු 07 යි තත්පර 52 කින් සියළු ඉසව් අවසන් කළ ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකා කණ්ඩායම මෙම තරඟාවලියේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වන ලදී. මිනිත්තු 07 යි තත්පර 25 කින් තරඟය අවසන් කළ ඉන්දියානු නාවික හමුදා කණ්ඩායම එහි ශූරතාවය හිමිකර ගත් අතර, එහි අනුශූරතාවය මිනිත්තු 07 යි තත්පර 45 කින නිම කළ පිලිපීන නාවික හමුදා කණ්ඩායම හිමි කර ගන්නා ලදී. තවද, මෙම තරඟාවලියේදී කණ්ඩායම් හැඟිම, උද්යෝගය සහ සදාචාරත්මක බව වැඩිදියුණු කර ගැනීමට ද අවස්ථාවක් හිමි වන ලදී.

1993 වර්ෂයේ අරම්භ කරන ලද මෙම නාවික අභ්‍යාසය ‍මෙවර පවත්වනු ලබන්නේ 14 වන වරට වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම අභ්‍යාසය සඳහා එක් වන්නේ ප්‍රථම වරටයි. ඒ අනුව, බහුපාර්ශවික කකාඩු පුහුණු අභ්‍යාසය 2018 අගෝස්තු මස 31 වන දින සිට සැප්තැම්බර් මස 15 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්වෙන අතර, එහිදී සාගරික සහ වෙරළ තීරයන් ආශ්‍රිතව ඒකාබද්ධ අභ්‍යාස රැසක් පැවැත්විමට නියමිතය.