ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී
 

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු (Integrated Maritime Skills Training) පාඨමාලාවක් ඊයේ (සැප්තැම්බර් 03) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී. පාඨමාලාවේ සමාරම්භක උත්සවය සඳහා 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරි, කපිතාන් ඩෙමියන් ප්‍රනාන්දු මහතා, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් අරුණ වීරසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ කාර්ය බලකා, එකාබද්ධ අන්තර් කාර්ය බලකාය (බටහිර) සාමාජිකයින් පිරිසක් සහභාගිවී සිටියහ.

මෙම පාඨමාලාව සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, එහිදී ප්‍රශ්ණ කිරීමේ ශිල්පීය ක්‍රම, මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, බලය භාවිතය, මත්ද්‍රව්‍ය පරික්‍ෂාව, මෙහෙයුම් සැලසුම් සහ සෙවිමේ ශිල්පිය ක්‍රම පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරනු ලබයි. මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයට අනුයුක්ත නාවික පුද්ගලයින් 16 දෙනෙකු සහ විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් 16 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයින් 32 දෙනෙකු මෙන්ම එකාබද්ධ අන්තර් කාර්ය බලකාය (බටහිර) සහ එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ කාර්ය බලකාය නියෝජනය කරමින් නාවික පුද්ගලයින් 07 දෙනෙකු සහභාගි වේ. තවද, දෙරටෙහි පුහුණුවීම් සහ ආධාරක අවශ්‍යතා සඳහා අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කර ගැනීම මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වේ. එමෙන්ම, මෙම පුහුණු පාඨමාලාව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ කාර්ය බලකා, එකාබද්ධ අන්තර් කාර්ය බලකායේ (බටහිර) නාවික පුද්ගලයින්ගේ වෘත්තීමය හැකියාව වර්ධනය කර ගැනීමටත් සාගරික අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුම හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත. මෙම පාඨමාලාව 2018 සැප්තැම්බර් මස 14 වන දින අවසන් විමට නියමිතව ඇත.