ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවන් තුනක් (03) ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් සුමිත්‍ර, කර්ච් සහ කෝරා ද්ව් යන නෞකාවන් ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගිවීම සඳහා අද (සැප්තැම්බර් 07) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.

නෞකාවන් දිවයිනට සේන්දු වීමෙන් අනුතුරුව සුමිත්‍ර සහ කර්ච් නෞකාවන්හි අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් සත්‍ය ගුරු මහතා සහ කොමාණ්ඩර් රෝබින් චක්‍රවෝර්ති මහතා නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

සුමිත්‍ර නෞකාව දිගින් මීටර් 105.3 ක් හා පළලින් මීටර් 12.9 කින් යුක්ත වන අතර, 230 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි. එමෙන්ම දිගින් මීටර් 91.1 ක් හා පළලින් මීටර් 10.5 කින් යුක්ත වන කර්ච් නෞකාවේ නැව් මුළුව 230 දෙනෙකුගෙන් යුක්ත වන අතර, දිගින් මීටර් 48.9 කින් සහ පළල මීටර් 7.5 කින් යුක්ත කෝරා ද්ව් නෞකාවේ නැව් මුළුව 175 දෙනෙකුගෙන් සමන්විත වේ.

තවද, මෙම නාවික අභ්‍යාසයට සහභාගිවිම සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, රියර් අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රිපති මහතා අද නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා මෙන්ම නාවික දියත් විධාන කාර්යාලයේදී, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා ද හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා ද සහභාගිවී සිටියහ.