ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2018 ත්‍රිකුණාමලයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) අද (සැප්තැම්බර් 07) ආරම්භ කෙරුණු අතර, එය සැප්තැම්බර් 13 වන දින දක්වා ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම වසරේ පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා 03 ක් සහ ඉන්දීය නාවික හමුදාවේ නෞකා 03 ක්, ඇතුළුව දෙරටේ නාවික පුද්ගලයින් 1000 පමණ සහභාගී වේ. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රීලංනානෞ සයුරළ, සමුදුර සහ සුරනිමිල යන නෞකා ද ඉන්දියානු නාවික හමුදාවට අයත් ඉන්දියනු නාවික නෞකා සුමිත්‍ර, කර්ච් සහ කෝරා ද්ව් යන නෞකාවන් මෙන්ම ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 02 ක් සහ හෙලිකොප්ටර් යානයක් ද මේ සඳහා එක්විමට නියමිතව ඇත.

සහයෝගීතාවය, සම්බන්ධීකරණය සහ එක්ව කටයුතු කිරීම තුළින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම මෙන්ම, ස්වකීය හැකියාවන් සහ සීමාවන් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම තුළින් දෙරටේ නාවික හමුදා අතර අන්තර් සන්නිවේදන හැකියාවන් සහ තාක්ෂණික ගැලපීම් වැඩිදියුණු කර ගැනීම මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණු ලෙස හැදින්විය හැක. මෙම අභ්‍යාසය තුළින් නෞකා ස්ථානගත කිරීම හා සමූහයක් වශයෙන් යාත්‍රා කිරීම, පණිවිඩ හුවමාරුව, නෞකා අතර පුද්ගලයින් හා ද්‍රව්‍ය හුවමාරු කිරීම සහ හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාස ඒකාබද්ධ ලෙස පැවැත්වීමට අවස්ථාව සැලසෙනු ඇත. නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සහ ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝනයට අනුයුක්ත නාවික පුද්ගලයින් ද මෙම අභ්‍යාසය සඳහ සහභාගි වන අතර, ප්‍රථම වරට ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ද මෙම අභ්‍යාසය සඳහා එක්වීමට නියමිතව ඇත.

වසර දෙකකට වරක් පැවැති මෙම නාවික අභ්‍යාසය මෙම වසරේ සිට වාර්ෂිකව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, සාගරික ක්‍රියාකාරකම් වලදී ඉන්දීය නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අවශ්‍ය සහාය නිරන්තරයෙන් දක්වනු ලබයි. එමෙන්ම, නොකඩවා සිදු කරන මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මගින් දෙරටේ නාවික හමුදාවන්ගේ අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමගින් ඉන්දියන් සාගරයට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් සැළසෙනු ඇත.