ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද යාත්‍රා දෙකක් වෙරළාරක්‍ෂක බලකායට ප්‍රදානය කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළබඩ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය මඟින් (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වෙරළබඩ මුර යාත්‍රා දෙකක් (02) ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට නිල වශයෙන් ප්‍රදානය කිරීම ඊයේ (සැප්තැම්බර් 07) කොළඹ, වරාය පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ඒ අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂ දෙපාර්තමේනතුව නියෝජනය කරමින් එම අවස්ථාවට ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේනතුවේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය.

දිගින් මිටර් 15 ක් සහ පළලින් මිටර් 3.5 ක් වන මෙම ‍යාත්‍රාවන් පැයට මුහුදු සැතපුම් 35 ක පමණ වේගයෙන් යාත්‍රා කල හැකිය. ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකා යාත්‍රා පංතියට එක් වූ මෙම යාත්‍රාවන් සීඡි 209 සහ සීඡි 210 ලෙස නම් කර ඇත. තවද, මෙම යාත්‍රා මිලියන 80 ක පිරිවැයක් දරමින් නවින අංගෝපාංගයන්ගෙන් සමන්විතව වැලිසර වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණය හා නාවික ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ අන්තර්ජාතික ප්‍රමිතිකරණයක් සහිතව නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 2016 සහ 2018 වර්ෂයේ තුන් අවුරුදු සැලැස්ම යටතේ සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මෙම යාත්‍රාවන් නාවික හමුදාව විසින් ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත.

මෙම උත්සව අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ‍ඇතුළු නාවික හමුදා මුලස්ථානය, බටහිර නාවික විධානය සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් රැසක් සහභාගිවී සිටියහ.