තෙල් කාන්දුවෙන් ඇති වූ පරිසර හානීය අවම කිරීමට නාවික හමුදා දායකත්වය
 

මුහුදේ සිට මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය වෙත තෙල් ගෙන යන ඉන්ධන නලයක ඊයේ (සැප්තැම්බර් 08) සිදු වූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට ප්‍රදේශයට සිදුවීමට ගිය විශාල පරිසර හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව තෙල් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටී.

මෙම තෙල් කාන්දුවිම සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා මූලස්ථානයේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින්  පිරිසක් ඒ සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. එමෙන්ම ඊට සමගාමිව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුව මඟින් පසුගිය අගොස්තු 29 වන දින ජපන් රජය මඟින් සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුව වෙත පරිත්‍යාග කළ නෞකාවන් වන ශ්‍රී ලංකා වෙරලාරක්‍ෂක නෞකා ‘සමාරක්‍ෂා’ සහ ‘සමුද්‍රරක්‍ෂා’ නෞකාවන් එම කාර්යය සඳහා යෙදවිමට කටයුතු කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුවට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් දික්ඕවිට සිට උස්වැටකෙයියාව දක්වා වූ වෙරළ තීරයේ විසිරි ඇති තෙල් ඉවත් කිරීමේ කටයුතු අද උදෑසන ආරම්භ කර ඇත. තවද, මෙම කාර්යය සඳහා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට අනුයුක්ත විශේෂඥ දැනුමැති නිලධාරින්ගේ ස‍හයෝගය ලබා ගැනීමට ද කටයුතු කර ඇත. මෙම මෙහෙයුම සඳහා නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක නිලධාරින් 300 කට අධික පිරිසක් සහභාගීවි සිටින අතර, මහත් පරිශ්‍රමයක් දරමින් කඩිනමින් තෙල් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් සිටි.

එමෙන්ම, සාගරයට මුදාහැරුණු තෙල් කෙටි කාල සීමාවකදී කාර්යක්ෂමව ඉවත් කිරීම සඳහා සුදානම්වී සිටිය යුතු බව නාවික හමුදාව අවබෝධ කර ගෙන සිටින අතර, ඒ අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සඳහා තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසයන් නිරන්තරයෙන් සිදු කරනු ලබයි. එමඟින් තෙල් කාන්දුවිමකදී ඇති විය හැකි පරිසර හානිය අවම කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.