සාර්ථක සංචාරයකින් අනතුරුව “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය සැප්තැම්බර් 08 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (සැප්තැම්බර් 10) දිවයිනෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාවේ කාර්ය මණ්ඩලය, දිව‍යිනේ රැදී සිටි කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ සුහද අත්පන්දු සහ බැඩ්මින්ටන් ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වු අතර, ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතිතමය අතින් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමටද සහභාගී වන ලදී.