රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව Bow Harmony නම් ඉන්ධන නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (සැප්තැම්බර් 10) කටයුතු කරන ලදී.

නොර්වේ ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ එම නෞකාවේ තුවාල ලැබූ පුද්ගලයෙකු සිටින බැව් නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත. එම තොරතුරු ලද විගස බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් රෝගියා රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

ඒ අනුව කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 28 ක් බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව කොළඹ වරාය වෙත රැගෙන එන ලදී. ඉන් අනතුරුව ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කොළඹ පිහිටි නවලෝක පෞද්ගලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.